පියයුරු පිළිකා යනු කුමක් ද?
ප්‍රාථමික හා ද්විතීක වශයෙන් පියයුරු පිළිකා වර්ග කර තිබේ. පිළිකා සෛල පියයුරු තුළ හට ගැනීම ප්‍රාථමික පියයුරු පිළිකා ගණයට වැටේ. යම් හෙයකින් ශරීරයේ වෙනත් ස්ථානයක හට ගන්නා පිළිකා සෛලයක් පියයුරු දක්වා ව්‍යාප්ත වීම ද්විතීක පියයුරු පිළිකා ගණයට අයත් වේ.
බොහෝ විට, ප්‍රාථමික පිළිකා ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු යළි වර්ධනය නොවේ. කෙසේ වෙතත්, ඇතැම් කාන්තාවන්ගේ පියයුරු තුළ හට ගන්නා පිළිකා සෛල ශරීරයේ වෙනත් ස්ථාන කරා ද පැතිර යා හැකිය.
2011 වසරේ දී ලොව පුරා කාන්තාවන් 508,000 පියයුරු පිළිකා හේතුවෙන් මරණයට පත්ව ඇති බව ඇස්තමේන්තු කර තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව 2014 වසරේ දී ශ්‍රී ලංකාව තුළ පිළිකා හේතුවෙන් මරණයට පත්ව ඇති කාන්තාවන් සංඛ්‍යාව 7,200 කි. ඉන් 18.8% පියයුරු පිළිකා රෝගීන්ය.
පියයුරු පිළිකාවක් හඳුනාගැනීමේ මූලික රෝග ලක්ෂණ:
- පියයුරු ආශ්‍රිත සම ඝන වීම
- සම මතුපිට වළ ගැසීම
- තන පුඩුව මත කුෂ්ඨ ඇතිවීම
- තන පුඩුවෙන් දියරයක් ගැලීම
- අසීරුවක් හෝ වේදනාවක් දැනීම
- තන පුඩුව ඇතුළට ගිලී යාම
- නහර මතු වීම
- ඉදිමීම
- සැරව සහිත තුවාල ඇතිවීම
- සම දොඩම් ලෙල්ලක ස්වරූපය ගැනීම
- පියයුරුවල ප්‍රමාණයේ හෝ හැඩය වෙනස්වීම
මෙවැනි ලක්ෂණ ඇත්නම් වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් ලබා ගන්නා ලෙස මහරගම අපේක්ෂා රෝහලේ අවවාදයයි.
පිරිමින්ටත් පියයුරු පිළිකා
පිරිමි පුද්ගලයින්ට පියයුරු පිළිකා වැළදෙන බව බොහෝ දෙනෙකු නොදන්නා කාරණයක් විය හැකිය.
එහෙත්, මහරගම අපේක්ෂා රෝහල පවසන්නේ, පිරිමින්ට පියයුරු පිළිකා වැළඳිය හැකි බවය.
ඒ අනුව, ඉහත රෝග ලක්ෂණ ඇත්නම් වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් ගන්නා ලෙස එම රෝහල ඉල්ලා සිටී.


Comments
Post a Comment